පේසල අතිමඤ්ඤනා සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

8. වඞ්ගීස සංයුත්තය

____________________

1.වඞ්ගිස වර්ගය

8.1.3

පේසල අතිමඤ්ඤනා  සූත්‍රය   

211. එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචෙතිය විහාරයෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රොධකප්පතෙරුන් සමග වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ තමාගේ ප්‍රතිහානයෙන් අනෙක් ප්‍රියශීල භික්ෂූන් හෙළා දකියි.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස හට “යම්බඳු මම තමාගේ ප්‍රතිහානයෙන් අනෙක් ප්‍රියශීල භික්ෂූන් අවමන් කෙරෙම් ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒ මට ඒකාන්තයෙන් ලාභයෙක් නො වේ. ඒකාන්තයෙන් මා විසින් නපුරක් ලබන ලද්දේ ය. මා විසින් ඒකාන්තයෙන් යහපතෙක් නො ලබන ලද්දේ ය”යි මේ අදහස වි ය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තමේ තෙමේ ම තමාට විපිළිසර උපදවා ඒ වේලාවෙහි මේ ගාථා කී ය.

ගෞතමය, මානය දුරු කොට, මානාරම්මණය ද බැහැර කරව. මානාරම්මණයෙහි නිරවශේෂයෙන් මුසපත් වූයේ බොහෝ කලක් විපිළිසර ඇත්තෙක් විය.

ගුණමකුබැවින් වකුනා වූ සත්වයෝ මානයෙන් නැසුනාහු නිරයට වැටෙත්. මානයෙන් විනෂ්ට ව නිරයට පැමිණි ඒ සත්වයෝ බොහෝ කලක් ශෝක කෙරෙත්.

(මාර්ගයෙන් දිනූ කෙලෙස් ඇති බැවින්) මග්ගජින නම් වූ මොනවාට පිළිපන් මහණ තෙමේ කිසි කලෙකත් ශෝක නො ම කෙරෙයි. කීර්තිය ද සුවය ද අනුභව කෙරෙයි. ස්ථිරසිත් ඇති උන්වහන්සේ ධම්මදසයයි කියත්.

එහෙයින් මේ ශාසනයෙහි චේතෝඛිල නැති ප්‍රධන්වීර්යය ඇති (භික්ෂු තෙමේ) නීවරණයන් දුරු කොට පිරිසිදු වූයේ වෙයි. සියලු මානය පහ කොට (අර්හන්මාර්ග) විද්‍යාවෙන් (කෙලෙස්) කෙළවර කරන්නෙක් වෙයි. සන්හුන්නෙක් ද වෙයි.

 

තුන්වැනි වූ පේසල අතිමඤ්ඤනා සූත්‍රය නිමියේ ය.