මොග්ගල්ලාන සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

8. වඞ්ගීස සංයුත්තය

____________________

  1. වඞ්ගීස වර්ගය

 

8.1.10

මොග්ගල්ලාන සූත්‍රය

 

   

218. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉසිගිලිපවුපස කළුගල්තලාවෙහි හැම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ, මහත් බික්සගන සමග වැඩ වසන සේක. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තමසිතින් ඒ භික්ෂූන්ගේ සිත වෙසෙසින් මිදුනේ ද උපධි රහිතදැයි සොයත්.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසතෙරුන්ට “මේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉසිගිලිපවුපස කළුගල්තලාවෙහි හැම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ මහත් බික්සඟන සමග වැඩවසන සේක. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තමසිතින් ඒ භික්ෂූන්ගේ සිත වෙසෙසින් මිදුනේ ද උපධි රහිතදැයි සොයත්. මම සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පසසන්නෙම් නම් මැනවැ”යි මේ අදහස වි ය.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ ය”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා!යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථාවලින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පැසසී ය.

ත්‍රිවිද්‍යා ඇත්තා වූ කෙලෙස් මරු නැසූ ශ්‍රාවකයෝ පවුපස වැඩහුන් දුක් කෙළවරට පැමිණි සම්බුදු මුනීහු පර්ය්‍යුපාසනය කෙරෙත්.

මහත් ඍද්ධි ඇති මහමුගලන් තෙරණුවෝ සව්වන්ගේ සිත (කෙලෙසුන්ගෙන්) මිදුනේ ද, උපධි රහිත දැයි සොයමින් තම සිතින් ඔවුන් ලුහුබැඳ යෙත්.

මෙසේ සියලු ගුණාඞ්ගයන්ගෙන් යුත් දුක් කෙළවරට පැමිණි නොයෙක් අයුරෙන් පිරිපුන් සම්බුදු මුනි වූ ගෞතමයන් වහන්සේ පර්ය්‍යුපාසනය කෙරෙත්.

 

දසවැනි වූ මොග්ගල්ලාන සූත්‍රය නිමියේ ය.