වඞ්ගීස සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

8. වඞ්ගීස සංයුත්තය

____________________

  1. වඞ්ගීස වර්ගය

 

8.1.12

වඞ්ගීස සූත්‍රය

 

   

220. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසස්ථවිර තෙමේ රහත්බවට පැමිණි නොබෝකල් ඇත්තේ වේ. විමුක්තිසුවය විඳිනේ ඒ වේලාවෙහි මේ ගාථා කී ය.

පෙර කවිකිරීමෙන් මත් ව ගමින් ගම ද නුවරින් නුවර ද හැසුරුනෙමු. ඉක්බිති බුදුරජානන් වහන්සේ දුටු වෙමු. (එයින්) අපට ශ්‍රද්ධාව උපනි.

ඒ බුදුරජානන් වහන්සේ ස්කන්ධායතනධාතූන් ප්‍රකාශ කෙරෙමින් මට දහම් දෙසූ සේක. මම උන්වහන්සේගේ ධර්මය අසා සස්නෙහි පැවිදි වීමි.

යම් කෙනෙක් නියාමධර්මයට පැමිණියෝ ද, නියාමධර්මය දක්නෝ ද බොහෝ වූ ඒ බික්ෂූන්ට ද භික්ෂුණීන්ට ද වැඩ පිණිස මුනීන්ද්‍රයන් වහන්සේ බුද්ධත්වයට පැමිණි සේක.

මම ඒකාන්තයෙන් යහපත් ඊමෙක් විය. මා විසින් බුදුරජානන් වහන්සේ සමිපයෙහි ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. සර්වඥයන් වහන්සේගේ ශාසනය කරණ ලද්දේ ය.

පෙර විසූ කඳපිළිවෙළ දනිමි. දිවැස වෙසෙසින් පිරිසිදු කරණ ලද්දේ ය. ත්‍රිවිද්‍යා ඇත්තෙම් ඍද්ධිවිධඥානයට පැමිණියෙම් චේතෝපරියඤාණයෙහි දක්ෂ වූයෙම් වෙමි.

 

දො‍ළොස්වැනි වූ වංගීස සූත්‍රය නිමියේ ය.