සාරිපුත්ත සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

8. වඞ්ගීස සංයුත්තය

____________________

1.වඞ්ගීස වර්ගය

 

8.1.6

සාරිපුත්ත සූත්‍රය   

214. එක්කලෙක ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ පරිපූර්ණ  වූ පළිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුනු පදව්‍යඤ්ජන ඇති අර්ථය හැඟවීමට සමර්ථ වූ දැහැමි කථායෙන් භික්ෂූන්ට කරුණු දක්වංංංත්, (ඔවුන්) සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කෙරෙත්, ඒ භික්ෂූහු ද අර්ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් ඇතුළත් කොට යොමු කළ කන් ඇත්තෝ දහම් අසත්.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට  “මේ ආයුෂ්මත් ශරීපුත්‍ර තෙරණුවෝ පරිපූර්ණ වූ වචන ඇති පළිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුනු පදඛ්‍යඤ්ජන ඇති අරුත හැඟවීමට සමත් වූ දැහැමි කථායෙන් භික්ෂූන්ට කරුණු දක්වත්, සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කරවත්,,  ඒ භික්ෂූහු ද අර්ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් සමනා කොට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්. මම ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට සුදුසු ගාථායෙන් ඉදිරියෙහි ප්‍රශංසා කරන්නෙම් නම් ඉතා මැනවැ”  යි මේ අදහස වි ය.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් වෙන ඇඳිලි බැඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට මෙය කී ය. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට වැටහෙයි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට වැටහෙයි. “ඇවැත්නි, වඞ්ගීසයෙනි, තොපට වැටහේවා!”යි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ සුදුසු ගාථායෙන් ඉදිරියෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුනට ප්‍රශංසා කෙළේ ය.

ගැඹුරු පැණැති නුවණැත්තා වූ මග නොමග දැනීමෙහි දක්ෂ මහත් ප්‍රඥා ඇති ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භික්ෂූන්ට දහම් දෙසත්.

සැකෙවින් ද දේශනා කෙරෙත්, විතරවිසින් ද දේශනා කෙරෙත්. (උන්වහන්සේගේ) මධුර ස්වරය සැළලිහිණියකගේ මෙනි. වැටහීම (මුහුදුරල මෙන්) පැන නගී.

ඇලුම් කටයුතු වූ ඇසියයුතු වූ සිත්කලු ස්වරයෙන් දහම් දෙසන උන්වහන්සේගේ ඒ මිහිරි තෙපුල් භික්ෂුහු අසත්. ඔදවැඩි සිත් ඇත්තාහු ප්‍රමුදිත සිත් ඇත්තාහු කන් යොමු කෙරෙත්.

සවැනි වූ සාරිපුත්ත සූත්‍රය නිමියේ ය.