සුභාසිත සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

8. වඞ්ගීස සංයුත්තය

____________________

1.වඞ්ගීස වර්ගය

 

8.1.5

සුභාසිත සූත්‍රය

 

   

213. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, සිවුඅඟෙකින් සමන්විත වදන සුභාෂිත වෙයි. දුර්භාෂිත නො වෙයි. නිරවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කරණ ලද්දේ ද වෙයි. කවර සිවුඅගෙකින්? යත්:  මහණෙනි, මෙහි මහණ තෙමේ සුබැසි තෙපුල් ම බෙණේ ද, දුබැසි තෙපුල් නො බෙණේ ද, දැහැමි තෙපුල් ම බෙණේ ද, නො දැහැමි තෙපුල් නො බෙණේ ද, ප්‍රිය තෙපුල් ම බෙණේ ද, අප්‍රිය තෙපුල් නො බෙණේ ද, සැබෑ තෙපුල් ම බෙණේ ද, නො සැබෑ තෙපුල් ම නො බෙණේ ද, මහණෙනි, මේ සිවු අඟින් යුත් වදන සුභාෂිත වෙයි. දුර්භාෂිත නොවෙයි. නිරවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කරණ ලද්දේ ද වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා නැවත අන්ලෙසකින් ද මෙය වදාළ සේක:

බුද්ධාදි සත්පුරුෂයෝ උතුම් වූ සුබැසි තෙපුල් ම කියත්. දැහැමි තෙපුල් ම බණන්නේ ය. නො දැහැමි තෙපුල් නො බණන්නේ ය. ඒ දෙවැන්න ය. ප්‍රිය තෙපුල් ම බණන්නේ ය. අප්‍රිය තෙපුල් නො බණන්නේ ය. එය තෙවැන්න ය. සැබෑ තෙපුල් ම බණන්නේ ය. නො සැබෑ තෙපුල් නො බණන්නේ ය. එය සිවුවැන්න ය.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ හුනස්නෙන් නැගිට උතරුසඟ සිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ, මට වැටහේ. සුගතයන් වහන්සේ, මට වැටහෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.

වඞ්ගීස, තට වැටහේවා යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ සුදුසු ගාථායෙන් ඉදිරියෙහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කළේ ය:

යම් වදනක් කරණ කොට ගෙණ තාමාත් නො තවන්නේ ද, මෙරමාත් නො වෙහෙසන්නේ ද, ඒ වදන ඒකාන්තයෙන් සුභාෂිත නම් වේ. ඒ වදන ම බෙණෙන්නේ ය.

යම් වදනක් ප්‍රිය කරණ ලද ද, යම් වදනක් බණන්නේ අනුන්ට අප්‍රිය පරොස් බස් නො ගෙණ. ප්‍රියවදන් ම බෙණේ ද, (එබඳු) ප්‍රියවදන් ම බෙණෙන්නේ ය.

සැබෑ වදන ඒකාන්තයෙන් අමා වදන ය. මේ දහම පැරණි ය. සජ්ජනයෝ සත්‍යයෙහි ද අර්ථයෙහි ද ධර්මයෙහි ද පිහිටියෝ යයි කියත්.

බුදුරජානන් වහන්සේ නිවණට පැමිණීම පිණිස ද දුක් කෙළවර කිරීම පිණිස ද නිර්භය වූ යම් වදනක් වදාරණ සේක් ද, ඒ වදන වදන් අතුරෙන් ඒකාන්තයෙන් උතුමි.

 

පස්වැනි වූ සුභාසිත සූත්‍රය නිමියේ ‍ය‍‍