උපට්ඨාන සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

9. වන සංයුත්තය

____________________

1.වන වර්ගය

 

9.1.2

 

උපට්ඨාන සූත්‍රය

   

222. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක චෙසෙයි. එකල්හි ඒ මහණෙ තෙමේ දිවාවිහාරයට ගියේ නිදයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ, ඒ මහණහට සංවේගදන්වනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය.

එළඹ ඒ මහණහට ගාථායෙන් කීය.

මහණ, නැගිටුව, කිම, නිදහි ද? නිදීමෙන් තොපට කිනම් වැඩෙක් ද? ක්ලේශාතුර වූ (අවිද්‍යා විෂ පෙවූ තෘෂ්ණා) ශල්‍යයෙන් විදින ලද ගැටෙන්නාවූ තොපට කරව නින්දෙක් ද?

යම් ශ්‍රද්ධාවෙකින් ගිහිගෙන් නික්ම පැවිදි වූයෙහි ද, ඒ ශ්‍රද්ධාව ම වඩව. නින්දට වසඟ නො වව.

නුවණ මඳ වූ පෘතග්ජන තෙමේ යම් කාමයන්හි මුසපත් වූයේ ද, ඒ කාමයෝ අනිත්‍යයහ. අධ්‍රැවයහ. ස්කන්ධයන්හි මිදුනාවූ තෘෂ්ණාදෘෂ්ටීන් අනිඃශ්‍රිත වූ පැවිද්දකු කුමක් හෙයින් (දිවාස්වප්නය තෙමේ) තවන්නේ ද,

ඡන්දරාගය වැනසීමෙන් ද, අවිද්‍යාව ඉක්ම වීමෙන් ද ඒ චතුස්සත්‍යඥානය පරම පවිත්‍ර වූයේ වෙයි. (එබඳු) පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද,

මාර්ගඥාන විද්‍යාවෙන් අවිද්‍යාව බිඳ ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් නිශ්ශෝකී වූ උපායාස රහිත වූ පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද,

සම්පූර්ණ වීර්යය ඇති නිවන් පිණිස මෙහෙයු සිත් ඇති නිතර දැඩි පැරකුම් ඇති නිවණ පතන පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද.

 

දෙවැනි වූ උපට්ඨාන සූත්‍රය නිමියේ ය.