කස්සපගොත්ත සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

9. වන සංයුත්තය

____________________

1.වන වර්ගය

 

9.1.3

 

කස්සපගොත්ත සූත්‍රය

 

   

223. එක්කලෙක ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ එක්තරා මුවවැද්දකුට අවවාද කෙරෙයි.

ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහීත වූ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට සංවේග දනවනු කැමැත්තේ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට ගාථායෙන් කී ය:

පර්වත දුර්ගයෙහි හැසිරෙණ් නුවණ නැති (කරුණු නොකරුණු දැනීමෙහි සමත්) සිත් නැති මුවවැද්දකුට නොකල්හි අවවාද කරණ මහණ තෙමේ අන්ධබාලයකු මෙන් මට වැටහේ.

(තොපගේ බණ) අසයි. (එහෙත් අරුත්) නො දනී. (පුහුදුන් ඉදුහයෙන් දිලෙන පටඇඟිලි) බලයි. (එහි කරුණු) නො දකී. බණ කියන කල්හි අඥාන තෙමේ අරුත් අවබෝධ නො කෙරෙයි.

පින්වත් කස්සප, ඉදින් ඇඟිලි පහන් දශයක් දරන්නෙහි නමුත් (හෙතු) රූපයන් නොම දක්නේ ය. යම් හෙයෙකින් ඕහට පැණැස නැද්ද (එහෙයිනි).

ඉක්බිති ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට (ඔතප්බියට) පමුණුවන ලද්දේ සංවිගන වී ය.

 

තැන්වැනි වූ කස්සපගොත්ත සූත්‍රය නිමියේ ය