පදුමපුප්ඵ සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

9. වන සංයුත්තය

____________________

1.වන වර්ගය

 

9.1.14

 

පදුමපුප්ඵ සූත්‍රය

   

234. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩ වෙසෙයි. එකල්හි ඒ මහණ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණේ පොකුණට බැස පියුමක් සිඹී.

ඉක්බිති ඒ වනලැහැබ අරක්ගත් ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණහට සංවේගය දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය.

නො දෙන ලද යම් ඒ පියුමක් සිඹිහි ද, මෙය සොරකම් අතුරෙන් එක් කොටසෙකි. නිදුකානන් වහන්ස, (එහෙයින්) ගන්ධත්ථෙන (සුවඳ සොරෙක්) වෙහි ය.

[භික්ෂු:]

මේ පියුම ගෙණ නො යෙමි. නො කඩමි. දුර සිට සිඹිමි. එසේ ඇති කළ කිනම් කරුණෙකින් ගන්ධත්ථෙන යයි කියනු ලැබේ ද,

[දෙවි:]

යම් ඒ තවුසෙක් නෙලුඹල කණී ද, පියුම් නෙළා ද, මෙසේ අපිරිසිදු කර්මාන්ත ඇති මේ තවුස් කුමක් හෙයින් ගන්ධත්ථෙන යයි නො කියනු ලැබේ ද.

ඒ පුරුෂ තෙමේ බොහෝ පව් ඇත්තෙකි. කිරි මව හැඳිවත උච්චාරපස්සාවා (මලමූත්‍රා) දියෙහි ගැවසී ගත්තාක් මෙන් (රාගදොෂාදියෙන්) වැකුණෙකි. ඔහු කෙරෙහි මාගේ බසෙක් නැත. ඔබට නම් කියන්නට නිසි වෙමි.

කෙලෙස් නැති නිතර පවිත්‍ර වූ ශීලාසමාධි ආදී ඥානයන් සොයන්නා වූ පුද්ගලයාට පාපය පිළිබඳ වලග පමණ වූ (ඉතා මඳ) දෝෂය පවා වලා පටලයක් පමණ වූවාක් මෙන් වැටහේ.

[භික්ෂු:]

යක්ෂය, මා ඒකාන්තයෙන් පිරිසිදු ය යි දන්නේ හි ය. මට අනුකම්පා කෙරෙහි. යම් කලෙක මෙබන්දක් දක්නෙහි නම් යක්ෂය, නැවතත් කියන්නේහි ය.

[දෙවි:]

මහණ, තොප නිසා නො ම ජිවත් වම්හ. තොපගේ බැළයමෝ නො ද වම්හ. යම් කර්මයෙකින් සුගතියට යන්නේ ද, (එය) තො ම දන්නෙහි ය.

ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවේගයට පැමිණියේ ය.

 

දාහතර වැනි වූ පදුමපුප්ඵ සූත්‍රය නිමියේ ය.