පාකතින්ද්‍රිය සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

9. වන සංයුත්තය

____________________

1.වන වර්ගය

 

9.1.13

 

පාකතින්ද්‍රිය සූත්‍රය

   

233. එක්කලෙක උඩඟු  වූ නැඟූ මානනළ ඇති චපල වූ රළු වචන ඇති දොඩමලු වූ මුළා සිහි ඇති මනා නුවණ නැති නො එකඟ සිත් ඇති නො සන්සුන් සිත් ඇති පියවි ඉඳුරන් ඇති බොහෝ භික්ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙත්.

එකල ඒ වනලැහැබ අරක් ගත ඒ භික්ෂූන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ භික්ෂූන්ට සංවේග දනවනු කැමැත්තේ ඒ භික්ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්ෂූන්ට ගාථායෙන් කී ය:

පෙර ආශා රහිත ව පිඬු සොයන ආශා රහිත ව සෙනසුන් සොයන ගොයුම්සවු වූ මහණහු සුවදිවි ඇති වූහ. ඔහු ලොව අනිස් බැව් දැන දුක කෙළවර කළහ.

මම සඞ්ඝයාට ඇඳිලි බැඳ කියමි. මෙහි ඇතැම්හු ගම්හි නින්දිත ගම් දෙටුවන් මෙන් තමන් දුකසේ පෝෂණය කළ හැක්කවුන් කොට අන්ගෙවල පුනපුනා බුදිමින් මුසපත් ව හොවිත්. සස්නෙන් බැහැර වූ ඔහු අසරණයෝ ය.සොහොනෙහි දමන ලද මළසිරුර බඳු වෙත්.

යම් කෙනෙක් ප්‍රමත්ත ව වෙසෙත් නම් මා විසින් ඔවුන් සඳහා කියන ලදී. යම් කෙනෙක් අප්‍රමත්ත ව වෙසෙත් නම් මම ඔවුන්ට නමස්කාර කරමි.

ඉක්බිති ඒ භික්ෂූහු ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දාහු සංවේගයට පැමිණියහ.

 

දහතුන් වැනි වූ පාකතින්ද්‍රිය සූත්‍රය නිමියේ ය.