විවේක සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

9. වන සංයුත්තය

____________________

1.වන වර්ගය

 

9.1.1

 

විවේක සූත්‍රය

   

221. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ හෙමේ පස්කම්සුව ඇසුරු කළ ලාමක අකුසල් සිතිවිලි සිතයි.

ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ, ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:

විවේකය කැමති ව වනයට පිවිසියේ වෙහි ය. එහෙත් ඔබගේ සිත පිටත හැසිරෙයි. ජනයෙක් වූ ඔබ අන්‍යජනයා කෙරෙහි ඡන්දරාගය දුරු කරව. එහෙයින් පහ ව ගිය රාග ඇත්තේ සැප ඇත්තෙක් වන්නෙහි ය.

අනභිරතිය දුරු කරව. සිහි ඇත්තෙක් වෙව. ඔබ සිස්හි ඇත්තෙකැ යි, නොහොත් ඒ සත්පුරුෂධර්මය යයි අදහමු. පාතලසඞ්ඛ්‍යාත කෙලෙස්රජස් තරණය කිරීමට දුෂ්කර ම ය. කාමරාගරජස් ඔබ (අපායට) නො හෙළාවා.

පස් තැවරුණා වූ පක්ෂියෙක් (පියාපත්) සලමින් (ශරීරයෙහි) ඇලුන දූවිලි යම් සේ හෙළා ද, එසේ ම ප්‍රධන් වීර්යය ඇති ස්මෘතිමත් වූ මහණ තෙම (ස්වාසන්තානය) ඇසුරු කළ (කෙලෙස්) රජස් සලමින් හෙළයි.

ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවෙගයට පමුණුවන ලද්දේ සංවේගයට (ඔතප්බියට) පැමිණියේ ය.

 

පලමු වැනි වූ විවේක සූත්‍රය නිමියේ ය.