අච්චය සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

 

සගාථවර්ගයට අයත්

__________________

11. සක්‌ක සංයුත්‌තයේ

සක්කපඤ්චකය

 

11.3.4

 අච්‌චය සූත්‍රය

   

270. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භික්ෂූහු දෙදෙනෙක් කලහ කළහ. එහි එක් මහණෙක් අභිබවා බිණී. එකල්හි ඒ මහණ ඒ මහණහු ලඟ වරද වරද වශයෙන් දෙසයි. ඒ මහණ එය නො පිළිගණී.

ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි මහණහු දෙදෙනෙක් කලහ කළහ. එහි එක් මහණෙක් අභිබවා බිණී. වහන්ස, එකල්හි ඒ මහණ තෙමේ ඒ මහණහු ලඟ වරද වරද වශයෙන් දෙසයි. ඒ මහණ තෙමේ එය නො පිළිගණී.

මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි: යමෙක් වරද වරද වශයෙන් නො දකී ද, යමෙකුත් වරද දෙසන්නහුගේ යථාධර්මය නො පිළිගණී ද, මහණෙනි, මේ දෙදෙන බාලයෝ යි. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි: යමෙක් වරද වරද වශයෙන් දකී ද, යමෙකුත් වරද දෙසන්නහුගේ යථාධර්මය පිළිගණී ද; මහණෙනි, මේ දෙදෙන පණ්ඩිතයෝ යි.

මහණෙනි, පෙර වූවක් කියමි. සක් දෙව්රජ සුධර්මා සභායෙහි තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය.

ක්‍රෝධය තොපගේ වසයට පැමිණේවා. තොපගේ මිත්‍රධර්මයෙහි දිරීමෙක් නො වේවා. නොගැරහියයුතු (ක්ෂීණාස්‍රව) පුද්ගලයාට නො ගරහව. කේලාම් නො ද කියව. වැලි ක්‍රෝධය පර්වතයක් මෙන් ලාමක ජනයා අතිශයින් මඬී.

 

සිව්වැනි වූ අච්චය සූත්‍රය නිමියේ ය.