තතියසක්කනමස්සන සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

 

සගාථවර්ගයට අයත්

__________________

11. සක්‌ක සංයුත්‌තයේ

සත්තවතවර්ගය

 

11.2.10

තතියසක්කනමස්සන සූත්‍රය

 

266. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

 

මහණෙනි, පෙර වූවක් කියමි. සක්දෙව්රජ මාතලි රියැදුරා ඇමතී ය: “සගය මාතලි, දහසින් යුත් ආජඤ්ඤරථය යොදව, මනහර බිම වූ උයන්බිම දක්නට යමු”යි.

 

මහණෙනි, මාතලි රියදුරු “එසේ ය, මුබට මැනැවෙක් වේව”යි සක්දෙවිඳුට පිළිතුරු දී දහසින් යුත් ආජඤ්ඤරථය යොදා සක්දෙවිඳුට නිදුකානෙනි, දහසින් යුත් මුබගේ ආජඤ්ඤරථය යොදන ලද්දේ ය. දැන් එයට කල් දනුව”යි සැළ කෙළේ ය. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ විජයොත්පහයෙන් බස්නේ බැඳැදිලි ව ම බික්සඟන නමඳියි. මහණෙනි, එකල්හි, මාතලි රියදුරු තෙමේ සක්දෙවිඳුට ගාථායෙන් කී ය:

 

දුගඳ සිරුර වැතිර ගෙණ හෝනා වූ මේ මිනිස්සු මුබවහන්සේ නමඳනාහ. මොහු කුණුපයෙහි (මවුකුසැ) ගැලුනාහ. සාපිපාසා දෙකින් මඬනා ලද්දාහුය.

 

සක්දෙවිඳුනි, ගෘහවාස නැති ඒ තව්තිසන්ගේ කිනම් අචාරයක් කැමැත්තේහි ද? කියනු මැනව. මුබගේ ඒ වදන අසමු.

 

[සක්දෙවිඳු:]

 

එම්බා, මාතලි, ඔහු යම් ගමෙකින් බැහැර යෙත් නම් නිරපේක්ෂක ව යෙත්. ගෘහවාස රහිත වූ ඔවුන්ගේ මේ ගුණය කැමැත්තෙමු.

 

ඔවුන් සතු (ධාන්‍යයක්) කොටුවෙක නො බහත්. සැළෙක්හිදු නො බහත්. පැසෙක්හිදු නො බහත්. මෙරමා නිම වූ බත සොයන්නාහු මනා ව්‍රත ඇත්තාහු එයින් යැපෙත්. සුමන්ත්‍රණ මන්ත්‍රණය කරන්නාහ. ධෘතිසම්පන්නයහ. නිශ්ශබ්දයහ. සම ව හැසිරෙන්නාහ.

 

එම්බා මාතලි, දෙවියෝ අසුරයන් හා විරුද්ධයහ. (එසේ ම) බොහෝ මිනිස්සු ද (ඔවුනොවුන් හා) විරුද්ධයහ. (එහෙත් මොහු) විරුද්ධයන් කෙරෙහි අවිරුද්ධයහ. ගත දඬු ඇත්තන් කෙරෙහි නිවුනහ. ආදාන (ග්‍රහණ) සහිතයන් අතරෙහි ආදාන රහිතයහ. මාතලි, ඔවුන් නමඳිමි.

 

[මාතලි:]

 

සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් නමඳනාහ නම් ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝ ම වෙති. සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් නමඳනාහු නම් මමත් ඔවුන් නමඳිමි.‍‍

දසවැනි වූ තතියසක්කනමස්සන සූත්‍රය නිමියේ ය.