දාළිද්ද සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

 

සගාථවර්ගයට අයත්

__________________

11. සක්‌ක සංයුත්‌තයේ

සත්තවතවර්ගය

 

11.2.4

 දළිද්‌ද සූත්‍රය

 

  

260. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, පෙර වූවක් කියමි. මේ රජගහනුවර ම මනුෂ්‍යදරිද්‍ර (දිළිඳු මිනිසකු) වූ මනුෂ්‍ය කෘපණ (මනුෂ්‍යයින්ගේ කරුණාවට භාජන) වූ මනුෂ්‍යවරාක (ලාමක මිනිසකු) වූ එක්තරා පුරුෂයෙක් විය. හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් වූයේ ය. ශීලය සමාදන් වූයේ ය. ශ්‍රැතය සමාදන් වූයේ ය. ත්‍යාගය සමාදන් වූයේ ය. ප්‍රඥාව සමාදන් වූයේ ය.

 

හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් ව ශීලය සමාදන් ව ශ්‍රැතය සමාදන් ව ත්‍යාගය සමාදන් ව ප්‍රඥාව සමාදන් ව කාබුන් මරණින් මතු තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට, මනා ගති ඇති ස්වර්ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ ශරීරවර්ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.

 

මහණෙනි, එහි තව්තිසාවැසි දෙවියෝ නින්දා කෙරෙත්, දොස් කියත්, අවමන් කෙරෙත්: පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්ය්‍යය. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයි. මේ දෙව්පුත් තෙමේ වනාහි පූර්වයෙහි මිනිස් වූයේ මනුෂ්‍ය දරිද්‍රයෙක් විය. මනුෂ්‍ය කෘපණයෙක් විය. මනුෂ්‍ය වරාකයෙක් විය. හෙ තෙමේ කාබුන් මරණින් මැති තව්තිසාවැසි දෙවියන්ගේ සහභාවයට, මනා ගති ඇති ස්වර්ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ ශරීර වර්ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.

 

මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු තෙමේ තව්තිසාවැසි දෙවියන් ඇමතීය: පින්වත්නි, තෙපි මේ දෙව්පුත්හට නින්දා නො කරවු. පින්වත්නි, මේ දෙව්පුත් තෙමේ පෙර මිනිස් වූයේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් විය. ශීලය සමාදන් විය. ශ්‍රැතය සමාදන් විය. ත්‍යාගය සමාදන් විය. ප්‍රඥාව සමාදන් විය. හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් ව ශීලය සමාදන් ව ශ්‍රැතය සමාදන් ව ත්‍යාගය සමාදන් ව ප්‍රඥාව සමාදන් ව කාබුන් මරණින් මැති තව්තිසාවැසි දෙවියන්ගේ සහභාවයට මනාගති ඇති ස්වර්ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ වර්ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.

 

මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු තෙමේ තව්තිසාවැසි දෙවියන් සතුටු කරමින් ඒ වෙලාවෙහි මේ ගාථාවන් කීය:

 

යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචල ව මැනවින් පිහිටියා ද, යමකුගේ යහපත් වූ ශීලය ආර්ය්‍යකාන්ත වූයේ පසස්නා ලද්දේ ද,

 

යමකුට සඞ්ඝයා කෙරෙහි පැහැදීම ඇත් ද, ඥානදර්ශනයත් සෘජු වූයේ වේ ද, ඔහු නො දිළින්දෙකැ යි (බුද්ධාදි උතුමෝ) කියති. ඔහුගේ ජීවිතය හිස් නො වේ.

 

එහෙයින් ප්‍රඥා තෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධාව ද, ශීලය ද, පැහැදීම ද, ධර්මය දැකීම ද, අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේ ය.

සිව්වැනි වූ දාළිද්ද සූත්‍රය නිමියේ ය .