අරඤ්ඤායතනඉසි සූත්‍රය

සංයුත්තනිකායෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

 

සගාථවර්ගයට අයත්

__________________

11. සක්‌ක සංයුත්‌තය

11.1.9

අරඤ්ඤායතනඉසි සූත්‍රය

 

   

255. සැවැත්නුවර -

මහණෙනි, පෙර වූවක් කියමි. සිල්වත් කලණදහම් ඇති බොහෝ රුසිහු වනසෙනසුනෙක පන්සල්හි වෙසෙත්. මහණෙනි, එකල්හි සක්දෙවිඳු ද වෙපචිත්ති අසුරිඳු ද සිල්වත් කලණදහම් ඇති ඒ සෘෂීන් වෙත එළඹිය හ.

මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු කීප පටක් ඇති වහන් නැගී කඩුව එල්ලා ගෙණ දරණු ලබන ඡත්‍රයෙන් යුක්ත ව ප්‍රධාන දොරටුවෙන් අසපුවට පිවිස සිල්වත් කලණදහම් ඇති ඒ සෘෂීන්ට නිගරු කොට නික්ම ගියේ ය.

මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ කීප පටක් ඇති වහනින් බැස කඩුව අන් කෙනකුන්ට දී ඡත්‍රය බහා තබා දොරින් ම අසපුවට පිවිස සිල්වත් කලණදහම් ඇති ඒ සෘෂීන් නමදිමින් යටිසුළඟෙහි බැඳැදිලි ව සිටියේ ය. මහණෙනි, එකල්හි සිල්වත් කලණදහම් ඇති ඒ සෘෂීහු සක්දෙවිඳුහට ගාථායෙන් කීහ.

බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන් වූ ව්‍රත ඇති සෘෂීන්ගේ කයින් ච්‍යුත වූ (සිරුරු) ගඳ සුළගින් හමයි. ශක්‍රය, මෙයින් ඉවත් වව. දෙව්රජ, සෘෂීන්ගේ (සිරුරු) ගඳ අපවිත්‍ර ය.

බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන් වූ ව්‍රත ඇති සෘෂීන්ගේ කයින් ච්‍යුත වූ (සිරුරු) ගඳ සුළගින් හමාවා. වහන්ස, මේ ගඳ හිසෙහි (පළඳනා ලද) විසිතුරු කුසුම් ඇති මල්දමක් මෙන් කැමැත්තමු. දෙවියෝ මෙහි පිළිකුල් ය යන හැඟීම් ඇත්තෝ නො ම වෙත්.

නවවැනි වූ අරඤ්ඤායතනඉසි සූත්‍රය නිමියේ ය.