කුලාවක සූත්‍රය

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

 

සගාථවර්ගයට අයත්

__________________

11. සක්‌ක සංයුත්‌තය

11.1.6

කුලාවක සූත්‍රය

  

252. සැවැත්නුවර -

මහණෙනි, පෙර වුවක් කියමි. දෙවාසුරසංග්‍රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ සංග්‍රාමයෙහිදී අසුරයෝ දිනූහ. දෙවියෝ පැරදුනහ.

මහණෙනි, දෙවියෝ පැරදුනාහු උතුරුදිග බලා පලා ගියාහු ම ය. අසුරයෝ ඔවුන් ලුහු බැඳ ගියාහු ම ය. මහණෙනි, එකල්හි සක්දෙවිඳු මාතලී රියදුරුහට ගාථායෙන් කීය:

මාතලි, හිඹුල්වෙනෙහි (ගුරුළු) කැදලි වේ. (ඔවුන්) රියහිසින් දුරු කරව. ඒකාන්තයෙන් අසුරයන් කෙරෙහි ප්‍රාණය හරිමු. මේ පක්ෂීහු (ගුරුළු පොව්වෝ) නහමක් තට කැදලි ඇති වෙත්වා යි.

මහණෙනි, “එසේය, මුඹට සෙතෙක් වේවා”යි මාතලි රියැදුරු සක්දෙවිඳුහට පිළිතුරු දී සහස්‍රයුක්ත ආජන්‍යරථය වටලා පැදැවී.

මහණෙනි, එකල්හි අසුරයන්ට මේ සිත විය. දැන් සක්දෙවිඳුගේ සහස්‍රයුක්ත ආජන්‍යරථය වටා වටින. (එහෙයින්) දෙවනවට දු දෙවියෝ අසුරයන් හා යුද කරන්නාහ යි බියට පැමිණියාහු අසුරපුරට ම පිවිසිය හ.

මහණෙනි, මෙසේ සක්දෙවිඳුහට දැහැමින් ම ජය වී ය.

 

සවැනි වූ කුලාවක සූත්‍රය නිමියේ ය.