ධජග්ග සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

 

සගාථවර්ගයට අයත්

 

__________________

11. සක්‌ක සංයුත්‌තය

11.1.3

ධජග්ග සූත්‍රය

   

249. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන්ගේ හා අසුරයන්ගේ යුද්ධයෙක් එක්තැන් වැදගත්තේ ය. මහණෙනි, එකල්හි සක් දෙව් රජ තව්තිසා වැසි දෙවියන් ඇමතී ය: භවත්නි, ඉදින් යුද්ධයට ගිය දෙවියන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ උපදනේ නම්, එකල්හි මාගේ ධ්වජාග්‍රය ම ඇස් නඟා බල ව. මාගේ ධ්වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම් එය පහ වන්නේ ය.

ඉදින් මාගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි පජාපති දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. පජාපති දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.

ඉදින් පජාපති දෙව්රජුහුගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි වරුණ දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. වරුණ දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.

ඉදින් වරුණ දෙව්රජුහුගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි ඊසාන දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. ඊසාන දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.

මහණෙනි, සක්දෙව්රජහුගේ ඒ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, පජාපති දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, වරුණ දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, ඊසාන දෙව්රජහුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ද, නො ද පහ වන්නේ ය. ඒ කවර හෙයින? යත්: මහණෙනි, සක්දෙව්රජ පහ නොවූ රාග ඇත්තේ ය. පහ නොවූ ද්වේෂ ඇත්තේ ය. පහ නො වූ මෝහ ඇත්තේ ය. බිය වන සුලු ය. තැති ගන්න සුලු ය. ත්‍රස්ත වන සුලුය. පලායන සුලු යි. (එහෙයිනි).

මහණෙනි, මම ද මෙසේ කියමි. මහණෙනි, ඉදින් අරණ්‍යයකට ගියා වූ හෝ රුක්මුලකට ගියා වූ හෝ ශුන්‍යාගාරයකට ගියා වූ හෝ තොපට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ උපදනේ නම්, එකල්හි “ඒ භාග්‍යවත් තෙමේ මෙ කරුණෙනුදු අර්හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිදූ ය, අනුත්තරපුරිසදම්මසාරථි ය, දෙවි මිනිසුන් ට සාස්තෘ ය, බුද්ධ ය, භාග්‍යවත් ය”යි මා ම සිහි කරව. මහණෙනි, මා සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.

ඉදින් මා සිහි නො කරන්නහු නම්, එකල්හි “ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාක්ඛාත ය, සන්දිට්ඨික ය, අකාලික ය, එහිපස්සිකය, ඔපනයික ය, නුවණැත්තවුන් විසින් සිය සතන්හි ලා දතයුත්තේය”යි ධර්මය සිහි කරව. මහණෙනි, ධර්මය සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.

ඉදින් ධර්මය සිහි නො කරන්නහු නම්, එකල්හි “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ඤායපටිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සාමිචිපටිපන්න ය. යම් මේ පුරුෂයුග සතරෙක් වේ ද, පුරුෂපුද්ගලයෝ අටදෙනෙක් වෙද්ද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ආහුනේය්‍ය ය, පාහුනේය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජාලිකරණිය ය, ලෝකයාගේ නිරුත්තර පින්කේතය” යි සඞ්ඝයා සිහි කරව. මහණෙනි, සඞ්ඝයා සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.

ඒ කවර හෙයින? යත්: මහණෙනි, අර්හත් වූ සම්මාසම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වනාහි පහ වූ රාග ඇත්තාහ. පහ වූ ද්වේෂ ඇත්තාහ. පහවූ මොහ ඇත්තාහ. නොබානසුල්ල හ. නො තැතිගන්නා සුල්ලහ. ත්‍රස්තනොවන සුල්ලහ. පලානොයන සුල්ලහ. (එහෙයිනි.)

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත තෙල අන් ගාවැළ ද වදාළ සේක:

මහණෙනි, අරණ්‍යයෙහි දී හෝ රුක්මුල දී හෝ ශුන්‍යාගාරයෙහි දී හෝ බුදුරජානන් වහන්සේ සිහි කරන්නේ ය. (එවිට) තොපට බියෙක් නො වන්නේ ය.

ඉදින් ලෝකජේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ සිහි නො කරන්නහු නම්, එකල්හි නෛර්ය්‍යාණික වූ සුදේශිත වූ ධර්මය සිහි කරන්නේ ය.

ඉදින් නෛර්ය්‍යාණික වූ සුදේශිත වූ ධර්මය සිහි නො කරන්නහු නම්, එකල්හි නිරුත්තර පුණ්‍යක්ෂේත්‍ර වූ සඞ්ඝයා ද සිහි කරන්නේ ය.

මහණෙනි, මෙසේ බුදුරජානන් වහන්සේ ද, ධර්මය ද, සඞ්ඝයා ද සිහි කරන්නවුන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ නොවන්නේ ය යි.

 

තෙවෙනි ධජග්ග සූත්‍රය  නිමියේ ය.