වේපචිත්ති සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

 

සගාථවර්ගයට අයත්

__________________

11. සක්‌ක සංයුත්‌තය

11.1.4

වේපචිත්ති සූත්‍රය

   

250. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

මහණෙනි, පෙර වූ වක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්ධයෙක් එක්තැන් වැද සිටියේ ය. මහණෙනි, එකල්හි වෙපචිත්ති අසුරිඳු අසුරයන් ඇමතී ය: “භවත්නි, ඉදින් දෙවාසූරසඞ්ඝ්‍රාමයක් එළඹ සිටි කල්හි අසුරයෝ දිනන්නාහු නම්, දෙවියෝ පරදින්නාහු නම්, ඒ සක්දෙවිඳු ගෙල පස් වැනි කොට ඇති බැඳුමෙන් බැඳ අසුරපුර මා වෙතැ ගෙණ එව”යි.

මහණෙනි, සක්දෙව් රජ ද තව්තිසා වැසි දෙවියන් ඇමතී ය:

පින්වත්නි, ඉදින් දෙවාසුරසංග්‍රාමයක් එළඹ සිටි කල්හි දෙවියෝ දිනන්නාහු නම්, අසුරයෝ පරදින්නාහු නම්, ඒ වෙපචිත්ති අසුරිඳු ගෙල පස් වැනි කොට ඇති බැම්මෙන් බැඳ සුධර්මා සභාවට මා වෙත ගෙණ එව යි.

මහණෙනි, ඒ යුද්ධයෙහි දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනහ. මහණෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ වෙපචිත්ති අසුරිඳු ගෙල පස්වැනි කොට ඇති බැඳුමෙන් බැඳ සක්දෙවිඳු සමීපයෙහි සුධර්මා සභාවට ගෙණාහ. මහණෙනි, එහිදී ගෙල පස්වැනි කොට ඇති බැඳුමෙන් බඳනා ලද වෙපචිත්ති අසුරිඳු සුධර්මා සභාවට පිවිසෙන්නා වූ ද නික්මෙන්නා වූ ද සක්දෙවිඳු හට අසභ්‍ය වූ පරුෂ වචනයෙන් අක්‍රෝශ කරෙයි, පරිභව කෙරෙයි.

මහණෙනි, ඉක්බිති මාතලි රියදුරු තෙමේ සක්දෙව්රජහට ගාථායෙන් කී ය:

සක්දෙව්ඳුනි, වෙපචිත්තිහුගේ පරුස්බස් ඉදිරියෙහි අසමින් බියෙන් ඉවසහි ද? නොහොත් දුබල බැවින් ඉවසහි ද?

[සක්දෙවිඳු:]

මම වේපචිත්තිහුගේ (පරුස්බස්) බියෙන් නො ඉවසමි. දුබලබැවින් ද නො ඉවසමි. මා වැනි නුවණැත්තෙක් (එබඳු) බාලයකු හා කෙසේ නම් ප්‍රතිවිරූද්ධව සටන් කරන්නේ ද?

වළකන්නෙක් ඉදින් නො වන්නේ නම් අඥානයෝ බොහෝ සෙයින් බිඳෙන්නාහු ය. එහෙයින් නුවණැත්තේ දැඩි වූ දණ්ඩනයෙන් අඥානයා වළකන්නේ ය.

සතුරා ඉතා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, මම මේ සංසිඳීම ම අඥානයා වැළක්මවීම ය යි හඟිමි.

[මාතලි:]

මේ තෙමේ මට බියෙන් ඉවසා යයි අඥාන තෙමේ යම් කලෙක ඒ ඉවැසීම හඟී ද, සක්දෙවිඳුනි, ඉවසීම පිළිබඳ මේ දොෂය ම දකිමි. පලා යන ගොණකු (යට කර ගෙණ යන) ගවමුළක් මෙන් නුවණ මඳ තැනැත්තේ බොහෝ සෙයින් (ඉවසන්නාහු) යට කර ගෙණ යයි.

[සක්දෙවිඳු:]

මේ තෙමේ මට බියෙන් ඉවසා යයි එකාන්තයෙන් හඟීවා හෝ, නො හඟීවා හෝ, සර්වාර්ථයෝ ස්වාර්ථය පරම කොට ඇත්තාහ. ඉවසීමට වඩා උතුම් අන්‍යාර්ථයෙක් නැත.

යමෙක් ඒකාන්තයෙන් බලවත් වූයේ ම දුබලයාට ඉවසා ද එය උතුම් ඉවසීම යයි කියත්. දුබල තෙමේ නිතර ඉවසයි.

අඥානබලය යමකුගේ බලය වේ ද, බලයක් නො වූ ම එය බල යයි කියත්. ධර්මයෙන් සංවෘත වූ (ක්ෂාන්ති) බලයට ප්‍රතිවක්තෘ වූවෙක් හෙවත් එය අබිබවා කියන්නෙක් නැත.

යමෙක් කිපියකුට පෙරළා කිපේ ද, එයින් ඔහුට ම නො යහපත වේ. කිපියහුට පෙරළා නො කිපෙන්නේ නො දිනිය හැකි වූ සටන දිනයි.

මෙරමා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, (හෙ තෙමේ ) තමහට ද මෙරමාහට ද (යන) දෙපසට ම වැඩ සාදයි.

යම් කෙනෙක් ධර්මයෙහි අදක්ෂ වෙද් ද, ඒ ජනයෝ තමහට ද මෙරමාහට ද (යන) දෙපසට ම වැඩ සදන්නාහු අඥාන යයි හඟිත්.

මහණෙනි, ඒ සක්දෙව්රජ තෙමේ වනාහි සිය පින්පල නිසා ජිවත් වන්නේ තව්තිසාවැසි දෙවියන් පිළිබඳ ඉසුරු හා අධිපතිබව ඇති රජය කරන්නේ ඉවසීමේ හා සුරත බැව්හි ගුණ කියන සුල්ලෙක් වෙයි. මහණෙනි, තෙපි මෙසේ ස්වාඛාත වූ ශාසනයෙහි පැවිද වූවහු ම යම් ක්ෂමායෙකින් ඉවසන්නහු මෘදුබැව් ඇත්තහු වන්නහු නම් මේ ශාසනයෙහි ලා ඒ ගුණය හොබනේ ය.

 

සිව්වැනි වේපචිත්ත සූත්‍රය නිමියේ ය.