සුභාසිතජය සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

 

සගාථවර්ගයට අයත්

__________________

11. සක්‌ක සංයුත්‌තය

11.1.5

සුභාසිතජය සූත්‍රය

   

251. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, පෙර වූවක් කියමි. දෙවාසුරසංග්‍රාමයෙක් එළඹ සිටියේ වි ය. මහණෙනි, එකල්හි වෙපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට “දෙවිඳුනි, සුභාෂිතයෙන් ජය වේවා”යි මෙය කී ය. “වෙපචිත්ති, සුභාෂිතයෙන් ජය වේවා” යි (සක්දෙව්රජ කී ය).

මහණෙනි, ඉක්බිති දෙවියෝ ද, අසුරයෝ ද මොහු අපගේ සුබැසි දුබැසි දැන ගන්නාහු යයි පාරිෂදයෙන් (විනිසකරුවන්) තැබූ හ.

මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට “දෙවිඳුනි, ගාථාවක් කියව” යි මෙය කී ය.

මහණෙනි, මෙසේ කී කල්හි සක්දෙවිඳු වෙපචිත්ති අසුරිඳුහට වෙපචිත්ති, මෙහිලා තෙපි පළමුදෙවි වව. (එහෙයින්) වෙපචිත්ති ගාථාවක් කියව යි මෙය කී ය. මහණෙනි, මෙසේ කී කල්හි වෙපචිත්ති අසුරිඳු මේ ගාථාව කී ය:

වළකන්නෙක් ඉදින් නොවන්නේ නම් අඥානයෝ බොහෝ සෙයින් බිඳෙන්නාහු ය. (වැනසෙන්නාහු ය). එහෙයින් නුවණැත්තෝ දැඩි වූ දණ්ඩනයෙන් අඥානයා වළකන්නේ ය.

මහණෙනි, වෙපචිත්ති අසුරිඳු විසින් ගාථාව කියන ලද කල්හි අසුරයෝ සතුටු වූහ. දෙවියෝ නිහඬ වූහ.

මහණෙනි, ඉක්බිති වෙපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට දෙවිඳුනි, ගාථාවක් කියව යි මෙය කී ය: මහණෙනි, මෙසේ කී කල්හි සක්දෙවිඳු තෙමේ මේ ගය කී ය:

සතුරා ඉතා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, මම මේ සංසිඳීම ම අඥානයා වැළකීම යයි හඟිමි.

මහණෙනි, සක්දෙවිඳු විසින් ගාථාව කියන ලද කල්හි දෙවියෝ සතුටු වූහ. අසුරයෝ නිහඬ වූහ.

මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වෙපචිත්ති අසුරිඳුහට වෙපචිත්ති, ගාථාවක් කියවයි මෙය කී ය: මහණෙනි, මෙසේ කී කල්හි වෙපචිත්ති අසුරිඳු මේ ගය කී ය:

මේ තෙමේ මට බියෙන් ඉවසා යයි අඥාන තෙමේ යම් කලෙක ඒ ඉවසීම හඟී ද. සක්දෙවිඳුගේ, ඉවසීම පිළිබඳ මේ දොෂය ම දකිමි. පලා යාම ගොණකු (යට කර ගෙණ යන) ගව මුළක් මෙන් නුවණ මඳ තැනැත්තේ බොහෝ සෙයින් (ඉවසන්නහු) යට කර ගෙණ යයි.

මහණෙනි, වෙපචිත්ති අසුරිඳු විසින් ගාථාව කියන ලද කල්හි අසුරයෝ සතුටු වූහ. දෙවියෝ නිහඬ වූහ.

මහණෙනි, ඉක්බිති වෙපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට දෙවිඳුනි, ගාථාවක් කියව යි මෙය කී ය.

මහණෙනි, මෙසේ කී කල්හි සක්දෙවිඳු මේ ගාථා කී ය:

මේ තෙමේ ඒකාන්තයෙන් මට බියෙන් ඉවසා යයි හඟීවා හෝ, නොහඟීවා හෝ, සර්වාර්ථයෝ ස්වාර්ථය පරම කොට ඇත්තාහ. ඉවසීමට වඩා උතුම් අන් අරුතෙක් නැත.

යමෙක් ඒකාන්තයෙන් බලවත් වූයේ ම දුබලයාට ඉවසා ද, එය උතුම් ඉවසීම යයි කියත්. දුබල තෙමේ නිතර ඉවසයි.

අඥානබලය යමකුගේ බලය වේ ද, බලයක් නොවූ ම එය බලය යි කියත්. ධර්මයෙන් සංවෘත වූ (ක්ෂාන්ති) බලයට ප්‍රතිවක්තෘ වූවෙක් හෙවත් එය අබිබවා කියන්නෙක් නැත.

යමෙක් කිපියකුට පෙරළා කිපේ ද එයින් ඔහුට ම නොයහපත වේ. කිපියහුට පෙරළා නොකිපෙන්නේ නොදිනිය හැකි වූ සටන දිනයි.

මෙරමා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, (හෙ තෙමේ ) තමහට ද මෙරමාහට ද යන දෙපසට ම වැඩ සාදයි.

යම් කෙනෙක් ධර්මයෙහි අදක්ෂ වෙද් ද, ඒ ජනයෝ තමහට ද මෙරමාහට ද යන දෙපසට ම වැඩ සදන්නහු අඥාන යයි හඟිත්.

මහණෙනි, සක්දෙවිඳු විසින් ගාථා කියන ලද කල්හි දෙවියෝ සතුටු වූහ. අසුරයෝ නිහඬ වූහ.

මහණෙනි, ඉක්බිති දෙවියන්ගේත් අසුරයන්ගේත් පාරිෂදයෝ (විනිසකරුවෝ) මෙය කීහ. වෙපචිත්ති අසුරිඳු විසින් ගාථාවෝ කියන ලදහ. ඒ ගාථාවෝ වනාහි සදණ්ඩයෙන් ඇසිරි ඇතියහ. සශස්ත්‍රයන් ඇසිරි ඇතියහ. භණ්ඩන මෙසේය, විග්‍රහ මෙසේය, කලහ මෙසේය කියායි. සක්දෙවිඳු විසින් ද ගාථාවෝ කියන ලදහ. ඒ ගාථාවෝ වනාහි දඬුමුගුරු සහිත පැවතුම් ඇත්තවුන් පිළිබඳ නොවෙත්. අවි සහිත පැවතුම් ඇත්තවුන් පිළිබඳ නො වෙත්. අභණ්ඩන මෙසේය, අවිග්‍රහ මෙසේය, අකලහ මෙසේය කියායි. (එහෙයින්) සක්දෙවිඳුහට සුභාෂිතයෙන් ජය වෙයි.

මහණෙනි, මෙසේ සක්දෙවිඳුහට සුභාෂිතයෙන් ජය වී ය.

පස්වැනි වූ සුභාසිතජය සූත්‍රය නිමියේ ය.