සුසීම සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

 

සගාථවර්ගයට අයත්

 

__________________

11. සක්‌ක සංයුත්‌තය

 

11.1.2

සූසීම සූත්‍රය

   

248. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, පෙර වූවක් කියමි: අසුරයෝ දෙවියන් අභිමුඛවැ ගියහ. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ සුසීම දෙව්පුත් ඇමතී ය: “පුත, සුසීම, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත, සුසීම යා. අසුරයන් බලා නැඟ යා”යි. මහණෙනි, සුසීම දෙව්පුත් තෙමේ ‘එසේ ය. මුඹට මැනැවෙක් වේවා’යි සක්දෙව්රජුහට පිළිවදන් දී (ගමන) පමා කළේ ය.

දෙවන වට දු සක්දෙව්රජ සුසීම දෙව්පුත් ඇමතී ය. ... දෙවන වට දු පමා කළේ ය.

මහණෙනි, තෙවන වට දු සක්දෙව්රජ සුසීම දෙව්පුත් ඇමතී ය. තෙවන වට දු පමා කළේ ය. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ සුසීම දෙව්පුතුහට ගාථායෙන් කී ය.

(කායික වීර්ය්‍ය වශයෙන්) නො නැගී සිටුනේ (චෛතසික වීර්ය්‍ය වශයෙන්) වෑයම් නො කරණුයේ යම් තැනෙක්හි සුඛයට පැමිණේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.

[සුසීම:]

උත්ථානවීර්ය්‍ය නැත්තේ අලස වන්නේ ය. කිසි කිසක් නො ද කරන්නේය. (එබන්දෙක්) සියලු කාමයෙන් සමෘද්ධයෙක් වන්නේ නම් ඒ උත්තමස්ථානය මට කියනු මැනවි යි.

[සක්දෙවිඳු:]

උත්ථානවීර්ය්‍ය නැත්තා වූ අලස පුද්ගලයෙක් යම් තැනෙක ඒකාන්ත සුඛයට පැමිණේ ද, නොහොත් අතිශයින් සැපසේ වැඩේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.

[සුසීම:]

ශක්‍ර දේවේන්ද්‍රය, කර්ම නොකිරීමෙන් යම් සැපතක් ලබමෝ ද, ශක්‍රදේවේන්ද්‍රය, ශෝක නැති දැඩි ආයාස නැති ඒ උතුම් මග කියනු මැනවි.

[සක්දෙවිඳු:]

කිසි පුද්ගලයෙක් කිසි තැනෙක්හි ජිවත් නො වේ ද, (කෘෂිවණික් ආදි) කර්ම නොකිරීමෙන් පැමිණිය යුතු එබඳු තැනෙක් ඉදින් ඇත් ද, ඒ මග නිර්වාණයාගේ (මග) ම ය. සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.

මහණෙනි, ඒ සක්දෙව්රජ නම් සිය පින්පල නිසා ජීවත් වන්නේ තව්තිසාවැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරන්නේ උත්ථානවීර්ය්‍ය පිළිබඳ ගුණ කියන්නෙක් වෙයි. මහණෙනි, තෙපි මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූවහු ම මේ සස්නෙහි නො පැමිණි ගුණයකට පැමිණීම පිණිස ද, අවබෝධ නො කළ දහමක් අවබෝධ කිරීම පිණිස ද, පසක් නොකළ දහමක් පසක් කිරීම පිණිස ද, යම් වීර්ය්‍යයෙකින් උත්සහා කරන්නහු ද, ඝටනය කරන්නහු ද, වෑයම් කරන්නහු ද, මේ සස්නෙහි ලා ඒ වීර්ය්‍ය හොබනේ ය.

‍‍දෙවෙනි සූසීම සූත්‍රය නිමියේ ය.