ආදිත්තපරියාය සූත්‍රය

1.3.6

ආදිත්තපරියාය සූත්‍රය

28.       එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයාගම්නුදුරෙහි ගයා ශිර්ෂයෙහි (එනම් ගල්තලාවෙහි) භික්ෂුන් දහසක් හා සමග වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් ඇමතූ සේක.

මහණෙනි, සියල්ල ඇවිලගන්නා ලදි. මහණෙනි කවර සියල්ල ඇවිල ගන්නා ලද යැ යත්:

මහණෙනි චක්ෂුස ඇවිල ගන්නා ලද යැ. රූපයෝ ඇවිලගන්නා ලදහ. චක්ෂුවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ.චක්ෂුසම්ඵස්සය  නිසා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්: රාග ගින්නෙන් දෝස ගින්නෙන් මෝහගින්නෙන් ඇවිල ගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිල ගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.

ශ්‍රෝත්‍රය ඇවිලගන්නා ලද යැ. ශබ්දයෝ ඇවිලගන්නා ලදහ. සෝතවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. සෝතසම්ඵස්සය ඇවිලගන්නා ලදයැ. සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්: රාගොගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.

ඝානය ඇවිලගන්නා ලද යැ ගන්ධයෝ ඇවිලගන්නා ලදහ. ඝාණවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. ඝානසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ ඝාණසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වු හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලදැ යැ යත්: රාගගින්නෙන් දෝස ගින්නේ මෝහගින්නෙන් ඇවිල ගන්නා ලද යැ. ජාතියෙන් ජාමරණයෙන් ඇවිල ගන්නා ලදැ යැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.

ජිව්හාව ඇවිලගන්නා ලද යැ. රසයෝ ඇවිලගන්නා ලදහ. ජිව්හා විඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. ජිව්හාසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේඳනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලදයැ යත්: රාගගින්නෙන් දොසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලදයැ. සොකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.

කය ඇවිලගන්නා ලද යැ. ‍ඵොට්ඨබ්බයෝ ඇවිලගන්නා ලදහ. කායවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ කායසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලද යැ. යත්: රාග ගින්නෙන් දෝස ගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.

මනස ඇවිලග්නා ලද යැ. ධර්මයෝ ඇවිලගන්නා ලදහ. මනෝවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. මනෝසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිල ගන්න ලද යැ යත්: රාගගින්නේ දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිල ගන්නා ලද යැ. ජාතියෙන් ජරාමණෙයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැ යි කියමි.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සුව හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් වේ නම් එහිත් කලකිරෙයි..........දිවෙහිත් කලකිරෙයි රසයන්හිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් වූ හෝ නො සුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි......සිතෙහිත් කලකිරෙයි ධර්මයන්හිත් කලකිරෙයි මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනි යි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ. මේ සූත්‍රය දේශනා කරනු ලබන කල්හි ඒ භික්ෂු දහසගේ සිත් උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුණේ යි.

සවැනි වූ ආදිත්තපරියාය සූත්‍රය